ලෝක ටෙලිවිෂන තිරයේ පසුගියදා විකාශය වීම ඇරඹුණා, ‘ද ලාස්ට් ඔෆ් අස්’(The Last of Us) කියා මාලා ටෙලි නාට්‍යයක්. එයින් කියැවුනා, මිනිස් වර්ගයා විනාශ කළ හැකි අමුතු මාරක දිලීරයක් ගැන. ඒ දිලීරය මිනිසා තුළට ඇතුළු වූ පසු ඔහු සහමුලින් ම වෙනස් කරනවා. මිනිස් වර්ගයාගේ විනාශය ළඟා කළ හැකි ඒ ටෙලි මාලා නාටකයේ ආ දිලීරය බඳු බැක්ටීරියාවක් සැබැවින් ම පර්යේෂණාගාරවල නිපදවන කතාවක් දැන් ඇත්තටම අසන්නට ලැබෙනවා. ඒ ටෙලිනාට්‍යය සැබෑවෙන ලකුණු දැන් පහළ වි තියෙනවා. ඒ ගැන අපට සඳහන් කරන්නට සිදු වුණේ නොබෙල් සම්මානලාභී සුප්‍රකට ජීව විද්‍යාඥයෙක් පසුගියදා ලෝකයට කළ අනතුරු ඇඟවීමක් නිසයි.
ඔහු පවසන්නේ, දැන් ලෝකයේ විද්‍යාඥයන්ගේ අවධානය ‘මාරක බැක්ටීරියාවක්’ නිපදවීම කෙරෙහි යොමු වීම නිසා ලොකු අනතුරක් අත ළඟ එන බවයි. මේ විද්‍යාඥයා ලන්ඩනයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ක්ෂුද්‍රජීව විද්‍යාඥ මහාචාර්ය ග්‍රෙගරි වින්ටර් (Gregory Winter) ය. ඔහු මේ බව පැවසුවේ ලෝකයේ දැන් කතාබහට ලක්ව පවතින ‘ප්‍රතිබිම්බ බැක්ටීරියාවක්’ (Mirror bacteria) කෘත්‍රිමව නිපදවන්නට ලෝක විද්‍යාඥ පිරිසකගේ අවධානය යොමුව තිබෙන බවට පුවතක් පළ වීම නිසයි.
සාමාන්‍යයෙන් අපව කැඩපතකින් අපට පෙනෙන්නේ වම දකුණ මාරුවීමෙන් බව ඔබ දන්නවා. එහි දී අපේ හැම අංගයක්ම පිහිටන්නේ අනෙක් අතටයි. එනම් නොපිටට හෙවත් කණපිටටයි. ඒ අනුව ‘ප්‍රතිබිම්බ බැක්ටීරියාවක්’ කියන්නේ ජෛව අණු සියල්ලම විකල්ප ස්ථානවල පිහිටින සේ, එනම් නොපිටට සිටින සේ, කෘත්‍රිමව නිපදවෙන බැක්ටීරියාවකි. ප්‍රතිදේහ පරිණාමය වන ආකාරය ගැන පර්යේෂණය කර එය ලෝකයට හෙළිදරවු කිරීම වෙනුවෙන් 2018 නොබෙල් ත්‍යාගය හිමිකර ගත් මහාචාර්ය ග්‍රෙගරි වින්ටර් පෙන්වා දෙන්නේ, යම් විධියකින් ‘ප්‍රතිබිම්බ බැක්ටීරියාව’ තනා එය වැරදීමකින් මිනිසාට ආසාදනය වුවහොත් ඇති විය හැකි භයානක තත්වය ගැනයි.
මීට දෙසතියකට පමණ පෙර, ඔහු ප්‍රමුඛව, ලොව පුරා සිටින ප්‍රකට විද්‍යාඥයන් 38 දෙනෙකු එකතු වී අනාගතයේ ආ හැකි මේ භයානක අනතුර ගැන දැනුවත් කරන්නට විශේෂ නිවේදනයක් නිකුත් කළා. එයින් ප්‍රකාශ වුනේ, ‘ලොව කවුරුන් හෝ වේවා මේ පියවර ගන්නට සූදානම් වී සිටිනවා නම් වහාම ඒ පර්යේෂණ නතර කර දමන ලෙස’යි.
“මේ වගේ බැක්ටීරියාවක් තනනු ලැබුවහොත් එහි අවදානම සිදුවන්නේ කාගේ හෝ අවධානය ගිලිහී යාමෙන් මෙය රහසිගත පිටවුනහොත් ඒ බව අපට දැන ගන්නට ලැබෙන්නේ, ඒ එය ආසාදනය වූ බව අපට දැන ගන්නට ලැබෙන විට, ඊට පිළියම් සොයා ගැනීමට තවත් කාලයක් ඉතිරි නැතිව යන නිසා යයි” කියා ඔවුන් ඒ ලිපියෙන් මේ පිළිබඳ ව භීතියක් පළ කරයි.
“ඒ බැක්ටීරියාව අපේ සිරුරට ඇතුළු වුවහොත් එයට සාමාන්‍ය බැක්ටීරීයාවකට මෙන් තමන්ගේ ම ගහනය වැඩි කර ගන්න පුලුවන්. එයින් අපේ රුධිර වාහිනී අවහිර වනු ඇති. ඒ මගින් රුධිර සංසරණ ක්‍රියාවලිය බිඳ වැටේවි; ආඝාතයන් ඇති කරාවි. තුවාලයකට ඇතුළුවුවහොත්, ඒවා සුව නොවී තියේවි; එහි ඇති බැක්ටීරීයාවන්ට ඒ ආසාදනය වැඩි කිරීමට උපකාර කරාවි. එවිට තුවාලය පැතිරීමෙන් ඉක්මනින් මරණයට පත් වේවි. මේ තත්වය තවත් නරක් වන්නේ දැනට මෙයට පිළියම් යෙදීම කිසිම එන්නතකට කළ නොහැකි වීමයි. එසේ ම මේ මාරක බැක්ටීරියාවට එරෙහි වීම සඳහා එන්නතක් නිපදවීමද කළ නොහැකි දෙයක් වේවි.” ඒ ලිපියේ තවදුරටත් සඳහන් වෙයි.
ලෝකයේ සියලු ජීවීන් තුළ, වාමවෘත, දක්ෂිණාවෘත ගුණවලින් යුක්ත අණු තියෙනවා. හරියට ඔබේ දකුණු අතේ සලකුණුවලට වඩා වෙනස් ස්වරූපයක පිහිටීමක් වම් අතේ තියෙනවා වාගේ. ඒ ලක්ෂණය ඉංග්‍රීසියෙන් හඳුන්වා ඇත්තේ 'chirality' කියන වදනින්. ඒ නිසා ඒ අණු ‘චිරල් අණු’ කියා හඳුන්වනවා. මේ චිරල් අණු මූලික සෛල සාධනයේ දී විශේෂ කාර්යභාරයක් ඉටු කරනවා. හරියට, DNA වල දක්ෂිණාවෘත සර්පිලය හා වාමවෘත ඇමයිනෝ අම්ල අපේ සිරුරුවල සෑම ප්‍රෝටීනයක් ම නිපදවනවා වගේ.
කෙසේ වෙතත්, මෙහිදී අණුවල ප්‍රතිබිම්බ අණු අනෙක් අතට ප්‍රතිසම වන නිසා සිරුර තුළ ප්‍රතිවිරුද්ධ අතට හැරුණු ජීවියෙක් පරිණාමය වීම නොවිය හැකියැයි කිව නොහැකිය. එයින් අදහස් කෙරන්නේ සෑම චිරල් (chiral) අණුවක් වෙනුවට ප්‍රතිබිම්බ අණුවක් ආදේශ විය හැකි බවයි. ඒ අනුව සම්පූර්ණයෙන් ක්‍රියාකාරී විය හැකි ප්‍රතිබිම්බ අණුවක් බිහිවිය හැකියි. මෙය ඇත්ත වශයෙන් ම සිදුවීමට හැකි වන තරමට තාක්ෂණය සංවර්ධනය වීමට තවත් දශකයක් වැනි කාලයක් ගත විය හැකි වුවත් විද්‍යාඥයන් දැන් සිටම මෙයට විරෝධය පාන්නේ එහි බරපතල කම අවබෝධ කර ගෙන ඇති නිසයි.
මේ පිළිබඳව පිටු 300ක තාක්ෂණික වාර්තාවක් ඉදිරිපත් කරන මේ විද්‍යාඥ පිරිස යම්හෙයකින් මේ ප්‍රතිබිම්බ බැක්ටීරියාව නිපදවුවහොත් එය පර්යේෂණ රසායානාගරයකින් පිටවීම වැළැක්වීමට ඇති අවස්ථා විරල බවත් ඒ නිසා එයින් ඇති අවදානම ඉතා ඉහළ බවත් පුන පුනා අවධාරණය කරති. මහාචාර්ය වින්ටර් ඒ ගැන කියන්නේ මෙහෙමයි: ‘සාමාන්‍යයෙන් බැක්ටීරියාවකට චිරල් නොවන පෝෂක මත ඒවා චිරල් අණු බවට පත් කරමින් වර්ධනය විය හැකියි. ඊට නිදසුන් ලෙස වාමවෘත ඇමයිනෝ අම්ල දක්විය හැකියි. මේ ආකාරයට ම ප්‍රතිබිම්බ බැක්ටීරියාවටත් ක්‍රියා කළ හැකියි. එහෙත් ඒ බැක්ටීරියාව චිරල් නොවන අණු දක්ෂිණාවෘත ඇමයිනෝ අම්ල බවට හරවන්නේ නැත. ඒ නිසා ආසාදිතවන ප්‍රතිබිම්බ බැක්ටීරියාවට සියලු ජීවීන් තුළ චිරල් නොවන අණු පෝෂණයට ගනිමින් වර්ධනය විය හැකියි.’
ඔහු කියන විධියට ප්‍රතිබිම්බ බැක්ටීරියාවට මේ ක්‍රමයට සිරුර තුළ විවිධ තැන් අවහිර කරමින් වර්ධනය විය හැකියි. ඒවාට අපේ සිරුර තුළ රසායනික ක්‍රියා ඇති කළ නොහැකිවුවත් අපේ රුධිරනාළ අවහිර කරමින් විශාල ලෙස බැක්ටීරියා ගහනයන් ඇති කර ගත හැකියි. සිරුර තුළට වැදුණු පසු අපට නොදැනීම සිදුවන මේ ක්‍රියාව නිසා අපට එය වළක්වා ගත නොහැකි මාරක තත්වයක් ඇති කරනු ඇත.
මෙය අතිශයින් මාරක වන්නේ මේ මිහිමත සිටින සියලු ජීවීන් සිය ආරක්ෂණ යාන්ත්‍රණය තනා ගෙන ඇත්තේ දක්ෂිණාවෘත ඩීඑන්ඒ හා වාමවෘත ප්‍රෝටීන් වැනි චිරල් අණු මත පදනම් කර ගෙන තිබීම නිසයි. ඒ කියන්නේ මේ ග්‍රහලොව තුළ වෙසෙන සියලු ජීවීන්ගේ ප්‍රතිශක්ති පද්ධතිවලට මේ මාරක ප්‍රතිබිම්බ බැක්ටීරියාව විනාශ කිරීමට හෝ ඒ බැක්ටීරියාව ශරීරගතවී යම් ආසාදනයක් සිදුවී ඇති බව දැන ගැනීමට හෝ ක්‍රමයක් නැති බවයි.
‘නිදසුනක් වශයෙන් මිනිස් රුධිරයේ ඇති ශ්වේතාණු, ආක්‍රමණික බැක්ටීරියාවක් ගිල දැමීමට සමත් වුවත්, නමුත් වාමවෘත එන්සයිමවලට ප්‍රතිබිම්බ බැක්ටිරියාවේ ඇති දක්ෂිණාවෘත ප්‍රෝටීන් ගිල දැමීමට හැකියාවක් එයට නැතැයි’ කියන මහාචාර්ය වින්ටර් ‘මේ හේතුව නිසා ම මේ ප්‍රතිබිම්බ බැක්ටිරියාවට එරෙහිව එන්නතක් නිපදවීම ද ප්‍රශ්නයක්ව ඇතැයි ද කියයි.
මහාචාර්ය වින්ටර් තවදුරටත් කියන්නේ කාලයාගේ ඇවෑමෙන් මේ මාරක බැක්ටීරියාව මරා දැමිය හැකි ප්‍රතිජීවකයක් හෝ ඊට පහරදිය හැකි බැක්ටීරියානු වයිරසයක් නිපදවීමට ඉඩ ඇතැයි ද එහෙත් මෙය මුදා හැරීමෙන් පසුව මෙයින් වන හානිය මඩින්නට ප්‍රමාණවත් කාලයක් තිබේදැයි යන්න සැක සහිත බව ද කියයි.
තවමත් පර්යේෂණ අවධියේ පවතින මේ ප්‍රතිබිම්බ බැක්ටිරියාව හදිසියේ ම පර්යේෂණ සාර්ථක වී නිපදවනු ලැබුවොත් එය කිසිම ආකාරයකින් රසායනාගාරයකින් පිට නොකරනු ඇතැම් විද්‍යාඥයන් තර්ක කළත් ඒවා ගැන විශ්වාසය තැබිය නොහැකි යැයි මේ විද්‍යාඥ පිරිස කියති.
දැනට චිත්‍රපට හා ටෙලි නාටක මගින් ඉදිරිපත් කළ විද්‍යා ප්‍රබන්ධවලින් මෙවන් ව්‍යසනයක් ඇති වුවහොත් ඇති විය හැකි තත්වයන් ගැන නාට්‍යමය ආකාරයන් කියා දී ඇතත්, 12 Monkeys (වඳුරන් 12 දෙනා) හා Contagion (සංක්‍රාමික රෝගයක්) යනුවෙන් නිපදවනු ලැබූ නිර්මාණවලින් පෙන්වනු ලැබුවේ පහර දෙන අයට විතරක් බෝ වන රෝගකාරක ලෙසයි. එහෙත් මේ බැක්ටීරියාවට ඕනෑම කෙනකුගේ ඇඟට පමණක් නොව, සත්ව, ශාක ඕනෑම ජීවියකු තුළට ඇතුළුවීමේ හැකියාව තිබේ. එසේම බෝවීමේ හැකියාව අවස්ථානුකූලව තමාට ම ඇති කර ගැනීමට මෙවැනි බැක්ටීරියාවට පුළුවන් යැයි ඒ විද්‍යාඥයෝ කියති.
විරෝධතා ගොනු කර ඇති නිබන්ධනයේ සම කර්තෘ වූ, ලන්ඩනයේ කේම්බ්‍රිජ්හී සේන්ස්බරි පර්යේෂණ රසායනාගාරයේ සේවය කරන ශාක රෝග පිළිබඳ විශේෂඥයකු වූ ආචාර්ය ජොනතන් ජෝන්ස් කියා සිටින්නේ බොහෝ ශාකවලට වැළඳෙන ව්‍යාධිකාරක නැති නමුත් මේ බැක්ටීරියාව ඕනෑම ශාකයකට වැළඳිය හැකි තත්වයේ ඇතැයිද මේ නිසා අප ආහාරයට ගන්නා බොහෝ ශාකවලට වැළඳුනොත් එය මුළු පරිසර පද්ධතියටම බලපෑමෙන් අපට දරුණු ආහාර හිඟයකට වුවද මුහුණ දීමට සිදුවනු ඇතැයි කියායි.
ප්‍රතිබිම්බ ප්‍රෝටීන් නිෂ්පාදනය පිළිබඳ විශේෂ අත්හදා බැලීම් රාශියක් කර ඇති, විශේෂඥ ඉංජිනේරුවකු වූ, ස්විට්සර්ලන්තයේ සූරීච් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අන්ඩ්‍රියස් ප්ලක්තුන් කියන්නේ මීට වෙනස් කතාවකි. ‘ප්‍රතිබිම්බ ජීවය තැනීම ගැන ලොව පුරා පර්යේෂණ කෙරෙනවා. වසර 20ක් තිස්සේ දහසක් පමණ දෙනා මේ ගැන වෙසෙනවා. මේක තවමත් සම්පූර්ණයෙන් සාර්ථක වූයේ නැහැ. හැබැයි අනාගතයේ කිසියම් දවසක ඒ විද්‍යාඥයන් සාර්ථක කර ගනීවි. මේ වගේ දෙයක් කිරීම බිම්ගත පර්යේෂණ රසායනාගාරයකට වී ත්‍රස්තවාදියකුට කරන්න බැහැ. ඒ සඳහා අතිවිශාල මුදලක් වැය කරන්න සිදු වෙනවා. කුඩා ඩීඑන්ඒ තීරුවක් තනන්න වුනත් ඩොලර් මිලියන දසදහස් ගණනක් වැය කරන්න සිදු වෙනවා. ඒ නිසා මා හිතන්නේ නැ, ඒ තරම් ඉක්මනින් ඒ අනතුර උදාවේවි කියලා. මම නම් ඒ ගැන වද වෙන්නේ නෑ.’ ආචාර්ය ප්ලක්තුන් කියනවා.
0 Comments